කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
මාගේ කැමැත්තට දෙවියන් ඇදහීම වරදක්ද?
ජිවිතයේ අපි එදිනෙදා කරන්නාවූ අනෙක් දේවල් කෙසේ වෙතත්, දෙවියන් ඇදහීම යන ඒ ක්‍රියාව පුද්ගලික එකක් වන්නේ, එය සම්පුර්ණයෙන්ම විශ්වාසය සහ අවංක කැපවීම මත යමෙකුගේ හදවත ඇතුලාන්තයේ තම කැමැත්තට අනුව පමණක් සිදුවන ආත්මිකව ක්‍රියාවක් වීමයි.
තම පුද්ගලික ආත්මික ජිවිතයේ සහජීවනය වෙනුවෙන් "දෙවි" කෙනෙක් නැමදීමට හෝ ආගමක් ඇදහීම වෙනුවෙන් බලකිරීමක් කිරීමට එබැවින් නොහැකි වුවත්, දියුණු යැයි සැළකෙන අප සමාජයේ පවා ඇදහිල්ලට විරුද්ධව කෙරෙන එවැනි බලපෑම් බොහෝ සෙයින් දැකීමට හැකි වන්නේ එය "සමාජයේ" කැමැත්තට අනුව සිදුවිය යුතුයි යන ඒ හැඟීමත් අප අතර වීමයි.
ඒ අනුව ඒ දෙස බැලීමේදී "මාගේ කැමැත්තට අනුව දෙවියන් ඇදහීම වරදක්ද?" යන මේ ප්‍රශ්ණයට පිළිතුර වර්තමානයේදී එක එක්කෙනාගේ පුද්ගලික පිළිගැනීමටත් වඩා සමාජයේ පිළිගැනීම මත තීරණය කෙරෙනු පෙනෙයි.
"එසේය, ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබලෙන පිණිස, අපගේ සිත්වල බැබලුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබලෙන්නට කිවාවූ ඒ දෙවියන්වහන්සේය." -2 කොරින්ති 4:6
“එහෙයින් අප ක්ලාන්ත නොවෙමුව; අපේ පිටත මනුෂ්‍යයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපගේ දුක, පෙනෙන දේ නොව නොපෙණෙන දේ බලාසිටින්නාවූ අපට, ඉතාමත් වැඩි වශයෙන් සදාකාල තේජසක් සාදා දෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නුමුත් නොපෙණෙන දේ සදාකාලිකය.” -2 කොරින්ති 4:16
ඉහත සඳහන් ප්‍රකාශන තුලින් පාවුල් තුමා ඔහු දෙවියන් අදහා ගැනීමට මුල්වූ හේතුව පෙන්නා දීමට ඇති හේතුව වන්නේද, ඔහුගේ ඇදහිල්ලට මෙන්ම කොරින්තියේ තිබු ඒ දේව සභාවටත් විරුද්ධව සමාජය ගෙන ආ බලපෑම් හේතු වීමයි. ඒ ගැන ඔහු පැහැදිලිව කියා සිටින්නේ, දෙවියන් යන ඒ සත්‍යයතාවය තම හදවත තුල සිදුවූ පුද්ගලික අත්දැකීමක්ද වන බැවින්, තමා අත්දුටු දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය අත්දැකීම බොරුවක් නොවෙන හේතුවයි.
තමන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිගැනීමටත් උන්වහන්සේ ඇදහීමටත් මුල්වන්නේ, මරණය පරදවා නැවත නැගිටුන ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන භාවය තමාටද පුද්ගලිකව අත්දැකීමට හැකිවීම නිසා වන බවත් පෙන්වාදෙමින් පාවුල් තුමා එහිදී අනෙක් ඇදහිලිවන්තයන්ද ධෛර්යමත් කරන්නේ, දෙවියන් යන ඒ සත්‍යයතාවය සැබෑවක් වන බැවින්, ඒ හේතුව නිසා "පෙනෙන දේ ගැන නොව නුමුත් නොපෙණෙන ඒ ආත්මික පැත්ත ගැන බලාපොරොත්තුව තබා" ජිවත්වන ලෙසයි.
පාවුල් තුමා මෙන් “තමුන්ගේ හිතට එකඟව දෙවියන් ඇදහීමේ ඇති වරද කුමක්ද?” යනුවෙන්, තමන් අත්දුටු සත්‍යය අත්දැකීම මත නැගීසිටිය තවත් මිනිසෙක් ගැන ක්‍රියා පොතේද සටහන් වෙයි.
දෙවියන් යන ඒ සත්‍යයතාවය පුද්ගලිකව තම ජීවිතයේදී අත්දුටු මිනිසුන් දෙදෙනෙකු විසින් “තමුන්ගේ හිතට එකඟව දෙවියන් ඇදහීමේ ඇති වරද කුමක්ද?” යන මේ ප්‍රශ්නය ඇසීමට මුල්වන හේතුව වන්නේත්, සමාජය ඔවුන්ගේ ඒ පිළිගැනීමට විරුද්ධව නැගීසිටීමේ හේතුවයි.
යේසුස් වහන්සේව අනුගමනය කිරීමට තීරණය කළ සාමාන්‍යය මිනිසුන් දෙදෙනෙකු වූ මොවුන් මුහුණ දුන් අභියෝගය වන්නේ, ඔවුන්ගේ ඇදහිල්ලට විරුද්ධව යෙරුසෙලෙමේ විසු යුදෙව් ආගමික නායකයන් විසින් මරණීය තර්ජන එල්ල කිරීමයි.
එදා ඒ ගෝලයන් දෙදෙනා මෙන්ම මේ අදටත් තවත් බොහෝ දෙනෙකුටද මුහුණදීමට සිදුවී ඇති එවැනි බලපෑම් ගැන සොයා බැලීම ඇදහිලිවන්තයන් හැටියට අපට වැදගත් වන්නේ, එදා පටන් අද දක්වාම මේ අභියෝගය, විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන්ට විශේෂයෙන් බලපාන හේතුවයි. එවැනි අවස්තාවන් වලදී ඇදහිලිවන්තයන් කල යුත්තේ කුමක්ද යැයි දැනගෙන සිටීමත් ඇදහිලිවන්තයන්ට ප්‍රයෝජනවත් වන්නේ විරුද්ධවාදී කම් ඉදිරියේදී තම ඇදහිල්ල ඒ තුලින් දුර්වලකර නොගන්නා පිණිසයි.
ඒ කතාව ක්‍රියා පොතේ මෙසේ සටහන් වෙයි.
"පේතෘස්ද යොහාන්ද යාඥා වේලාව වූ නවවැනි පැයේ දේවමාලිගාවට යද්දී, මව්කුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් ගෙනයනු ලැබුවේය. ඔහු මාළිගාවට ඇතුල් වෙන්නන් ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුව යයි කියන මාලිගාවේ ඒ දොරටුව අසල දවස්පතා තබන ලද්දේය. ඔහු පේතෘස් ද යොහාන් ද දේවමාලිගාවට ඇතුල් වෙන්නට යනවා දැක, ඔවුන්ගෙන් සිඟමන් ඉල්ලුවේය.
පේතෘස් යොහාන් සමග ඔහු වෙත ඇස්හෙලා; අප දෙස බලන්නැයි කීවේය. ඔහුද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලාසිටියේය.
පේතෘස්ද, රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නසරිය යේසුස් ක්‍රිස්තුස් ගේ නාමයෙන්, අවිදින්නැයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිට්ටුවේය.
එකෙනෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය. ඔහුද පැන නැගී කෙලින් සිට, ඇවිදින්නට පටන් ගත්තේය; ඇවිදිමින්ද පැන නගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමග දේවමාලිගාවට ඇතුල් වුණේය.
මුළු සෙනගද ඔහු ඇවිදිනවාත් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනවාත් දැක, දේවමාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමන් ඉඳගෙන උන් තැනැත්තා ඔහු බව දැන, ඔහුට සිද්ධවූ කාරණය ගැන පුදුමයෙන්ද, විශ්මයෙන්ද, පිරුණෝය.
පේතෘස් ඒ දැක සෙනගට උත්තරදෙමින්; ඉශ්රායෙල් මනුෂ්‍යයනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුම වන්නේ මක්නිසාද?
එසේම අපගේම බලයෙන්වත් භක්තිවන්ත කමින්වත් අප විසින් මොහු ඇවිදින්නට සැලස්සුවාක් මෙන් අප දෙස ඇස් හෙලා බලා සිටින්නේත් මක්නිසාද?
ආබ්‍රහාම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවූ "යේසුස් ක්‍රිස්තුස් වහන්සේ" ගෞරවයට පැමිණෙවූසේකයි පැවසිය.
ඔවුන් සෙනගට කථා කරද්දී පුජකයෝද, දේවමාලිගවේ සේනාධිපතියාද, සදුස්සිවරුද, ඔවුන් සෙනගට ඉගැන්වූ බැවිනුත්, යේසුස් වහන්සේ ගේ "මළවුන්ගෙන් නැගිටීම" ගැන ප්‍රකාශ කළ බැවිනුත්, අතිශයින් කැළඹී, ඔවුන් කරා පැමිණ, ඔවුන් පිට අත් හෙලා, සවස්වූ බැවින් පසුවදා වෙනතුරු ඔවුන් හිරගෙයි තැබුවෝය.
නුමුත් වචනය ඇසුවන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස් වහන්සේ අදහාගත්තෝය. ඒ මනුෂ්‍යන්ගේ ගණන පන්දාහක් පමණ විය".
පසුබිම ලෙසින් අපි මෙහි දකින්නේ, පේතෘස් සහ යොහාන් ලෙසින් පෙනීසිටි යේසුස් වහන්සේ අනුගමනය කිරීමට තීරණය කල ඒ සාමාන්‍යය ගෝලයන් දෙදෙනා විසින් මරණය පරදවා නැවත නැගිටුන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උපන්දා පටන් කොරව සිටිය ලෙඩෙකුට යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය ලබාදීම වරදක් ලෙසින් යෙරුසෙලෙමේ සිටි ආගමික නායකයන් පැවසීමයි.
අසාමාන්‍යය සුවවීමක් වූ ඒ සිදුවීම "හාස්කමක්ද" වූ බැවින්, අසළ සිටි සෙනග පුදුමයෙන් විෂ්මපත්වූ බවත්, එසේම එය ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සිදුවූ නිසා තවත් සමහරුන් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් ලෙසින් අදහාගැනීමට පවා පැමිණි බවත් එහි තවදුරටත් සඳහන් වෙයි.
සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී, ඒ හාස්කම ගැන එහි සිටි ආගමික නායකයන් දක්වන ප්‍රතිචාරය ගැනත් සලකා බැලීම මෙහිදී වැදහත් වන්නේ, එය අපගේ මාතෘකාව සමග සම්බන්ද වන නිසායි.
මෙහි අපි දකින ඒ ආගමික නායකයන්ගේ ප්‍රතිචාරය අසාමාන්‍යය එකක් බව පෙනෙන්නේ, දෙවියන්වහන්සේගේ සේවකයන් ලෙසින් මෙන්ම “ක්‍රිස්තුස්” වහන්සේ ගැන බලාපොරොත්තුවෙන් සිටින ඔවුන් “ක්‍රිස්තුස්” යන නාමයෙන් සිදුවූ ඒ හාස්කම ගැන දක්වන ප්‍රතිචාරයයි. ඒ ගැන ඔවුන් වියවුල්ව ක්‍රියා කලබවත් එහි සටහන් වෙයි.
ආගමික නායකයන් වූ ඔවුන් තමන්ද පෙනීසිටින ඒ දෙවියන්වහන්සේ විසින් මිනිසුන් මාධ්‍යයයේ කල ඒ පුදුම හාස්කම ගැන සතුටු වනවා වෙනුවට ඔවුන් කරන්නේ, ඒ ගැන වියවුල්ව, කෝපයෙන් පිරී, හාස්කමක් සිදුවුවත් එය ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් තුලින් යේසුස් යන ඒ නාමය කරණකොටගෙන සිදුවූ බැවින් එය තහනම් කිරීමට දරන උත්සාහයයි. ඔවුන් එදා පේතෘස් සහ යෝහාන්ව අල්ලා සිරකරනු ලැබූ බවත් එහි සටහන් වෙයි.
ඒ ප්‍රවෘතිය තවදුරටත් ක්‍රියා පොතේ මෙසේ දිගහැරෙයි;
"තවද පසුවදා ඔවුන්ගේ මුලාදෑනියෝද, වැඩිමහල්ලෝද, ලියන්නෝද, උත්තම පුජකයාවූ අනනස්ද , කායාපස්ද, යෝහාන්ද , ඇලෙක්සැන්ඩර්ද , උත්තම පුජකයාගේ සියළු නෑදෑයෝද, යෙරුසෙලෙමෙහි රැස්වී පේතෘස සහ යොහාන් ගෙනැවිත් ඔවුන් මැද සිටුවා;
නුඹලා මේක කළේ මොන බලයෙන්ද?
නොහොත් කාගේ නාමයෙන්දයි? නැවතත් ප්‍රශ්ණ කළෝය".
(මේ ප්‍රශ්ණ කිරීමට හේතුව වන්නේ, පේතෘස් සහ යොහාන් පිළිගත් පුජකයන් නොව නුමුත් සාමාන්‍යය මනුෂ්‍යයන් වීමයි. දේවමාලිගාව ඇතුලෙදි යමක් කිරීමේ බලය හෝ ප්‍රකාශකර සිටීමේ වරප්‍රසාදය හෝ ඔවුන්ට නොවුන බැවින් සෙනගට දෙවියන් ගැන හෝ දෙවියන්ගේ නාමයෙන් යමක් කිරීම තහනම් වූ ක්‍රියාවක්ද වීමේ හේතුවයි.)
"එවිට පේතෘස් ශුද්ධ ආත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියණුයේ; සෙනගගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි, පුජකයෙනි, දුර්වල මනුෂ්‍යයෙකුට කළාවූ යහපත් ක්‍රියාවක් ගැන; ඔහු සුවකරනු ලැබුවේ කෙසේදැයි කියා අද අපව විභාග කරණු ලබමු නම්, නුඹලා විසින් කුරුසියෙහි ඇණ ගසන ලද්දා වුද, දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද්දා වුද, නාසරීය ගම්මානයේ ජීවත්වූ යේසුස් නම් වූ “ක්‍රිස්තුස්” වහන්සේගේ නාමයෙන් මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයි යයි පළමුවෙන්ම නුඹලා සියල්ලෝද සියලුම ඉශ්රායෙල් සෙනගද දැනගනිත්වා යයි කීවේය".
"එවිට ඔවුහු පේතෘස්ගේද යෝහාන්ගේද නිර්භීතකම දැක, ඔවුන් "අපන්ඩිත නුගත් මනුෂ්‍යන්" බව දැන මවිතවුවෝය.
ඔවුන් යේසුස් වහන්සේ සමග සිටිබව ඔවුන් ඇඳින්නෝය.
නුමුත් සුවකරනු ලැබූ මනුෂ්‍යයා ඔවුන් සමග සිටිනවා දැක, ඊට විරුද්ධව කිසිවක් කියන්නට ඔවුන්ට නොහැකි විය.
නුමුත් තම තමුන් අතරේ කතා කරගනිමින්; මේ මනුෂ්‍යන්ට මක්කරමුද?
මක්නිසාද විශිෂ්ඨවූ ආශ්චර්‍යයක් ඔවුන් කරණකොටගෙන කරණ ලද බව යෙරුසෙලෙමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශ වී තිබේ. ඒක නැතැයි කියන්නට අපට නුපුළුවන. නුමුත් සෙනග අතරේ එය තව දුරටත් පතල නොවන පිණිස, මින්මතු කාටවත් මේ නාමයෙන් කථා නොකරන්නට ඔවුන්ට තර්ජනය කරමු යයි කීවෝය".
සෙනග නිසා ඔවුන්ට දඬුවම් කරන්නට අන්දමක් නොදැක, ඔවුන් නැවත ගෙන්වා, ඔවුහු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට, යේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නොකරණ ලෙස ඔවුන්ට අණ කළෝය".
නුමුත් පේතෘස්ද යොහාන්ද ඔවුන්ට උත්තරදෙමින් කියනුයේ;
දෙවියන්ට ඇහුම්කන් දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද? කියා නුඹලාම සෝදිසිකර බලන්න.
මක්නිසාද, අප විසින් ඇසු දුටු දේ ගැන කථා නොකර සිටින්නට අපට නුපුළුවනැයි කීවෝය".
දෙවියන්වහන්සේ ගේ ජීවමාන භාවය ගැන තමුන් පුද්ගලිකව අත්දුටු සත්‍යය අත්දැකීම පිළිගෙන ඒ සත්‍යය ඇදහීම හෝ පිළිගැනීම හෝ ඒ ගැන කතා කිරීම වරදක් යැයි පවසමින් ඔවුන්ට දඬුවම් පැමිණවීමට උත්සාහකරණ ඒ පුජකය පන්තියට පේතෘස් සහ යොහාන් පවසා සිටින පිළිතුර වන්නේ; දෙවියන්ට ඇහුම්කන් දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා ආගමික නායකයන් වූ නුඹලාම සොයා බලන්න? යන පිළිතුරයි.
“මක්නිසාද අප ඇසු දුටුදේ ගැන කථා නොකර සිටින්නට අපට නුපුළුවනැයි ඔවුන් කීවෝය".
පාවුල් තුමා මෙන්ම පේතෘස් සහ යොහාන් පවා මෙහි සඳහන් කරන්නේ, ඔවුන්ගේ හෘද සාක්‍ෂියට අනුව ඔවුන් අත්දුටු ඒ සත්‍යය පිළිගෙන ඇදහීම සාදාරණ ක්‍රියාවක් යන කාරණයයි. එබැවින් දෙවියන් යන ඒ සත්‍යය පුද්ගලිකව අත්දැකීමට පැමිණීමේ හේතුව පමණක් ඔවුන්ගේ ඇදහිල්ලට මුල්වන එකම හේතුව බවත් ඔවුන් එහිදී ඔවුන්ට පවසා සිටියි. ඒ නුමුත් ඔවුන්ගේ ඒ පුද්ගලික නිදහසට විරුද්ධව පුජක මණ්ඩලය නැගී සිටින්නේ, එය හාස්කමක් වුවත් ඒ හාස්කම සිදුවන්නේ තමුන් අකමැති යේසුස් වහන්සේගේ නාමයෙන් වූ හේතුව නිසායි.. යේසුස් වහන්සේ කෙරෙහි ඇති අකමැත්ත නිසා ඒ ආගමික නායකයන් මෙහිදී ඒ හාස්කම පවා එපා කරණු පෙනෙයි. දෙවියන්ගේ නාමයෙන් පුදුමයක් ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදී සිදුවුවත් මෙහිදී ඔවුන්ගේ පුද්ගලික හේතුන් නිසා ඒ සත්‍යයට විරුද්ධව ඔවුන් ක්‍රියා කරණු පෙනෙයි.
ඒ නුමුත් තමන්ට දඬුවම් කිරීමට තරම් බලයක් සතුවු ඒ පුජක මණ්ඩලයට පවා භය නොවී එදා ඔවුන් නිර්භීතව තමාගේ අත්දැකීම වෙනුවෙන් නැගීසිටින්නේ, දෙවියන් යන ඒ සත්‍යයතාවය සත්‍යය බව ඔවුන් අත්දැකීමෙන් හඳුනාගෙන සිටින නිසායි.
දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය අත්දැකීම හදවතින් තේරුම් ගැනීමට පැමිණිවිට මිනිසුන් තමන් හඳුනාගත් ඒ සත්‍යය අනුගමනය කිරීමටත් කැමති වන්නේ, ඒ සත්‍යය තමාගේ ජිවිතයට ආශිර්වාදය ගෙන දුන් හේතුව නිසායි. එසේම තමන්ගේ හෘද සාක්ෂියත් එයට බොහෝවිට බලපායි. මිනිසුන්ට වඩා මිනිසුන් දෙවියන්ට භයවන්නේ දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය දැන් ඔවුන් තුල අත්දැකීමක් බවට පත්ව ඇති නිසායි. මෙහිදී පෙත්රුස් සහ යොහාන් ද තම අත්දැකීම වෙනුවෙන් නැගිසිටින්නේත් අවංකව හදවතෙන් අත්දුටුවාවූ ඒ සත්‍යය තම හෘදසාක්ෂියට එකඟව බොරුවක් යැයි පැවසිය නොහැකි හේතුවයි.
දෙවියන් ගැන පුද්ගලිකව අත්දුටු ඒ අත්දැකීම කෙරෙහි විශ්වාස කිරීම වරදක් බව යෙරුසෙලෙමේ සිටි ඒ නායකයන් තීරණය කල නිසා මේ මිනිසුන් දෙදෙනාට එදා මුහුණදීමට සිදුවූ ඒ අසාදාරණ ගැන අවධානය යොමුකිරීමට සිතුනේ, එවැනි දේ මේ අදටත් අප අතර පවා සිදුවන නිසා එවැනි සිදුවීම් හේතුවෙන් අපගේ ඇදහිල්ල දුර්වල කර නොගෙන සිටීමට උපකාර වන පිණිසයි.
ශතවර්ෂ සියගණනක් ඈතට දිවයන ඒ අතීතයේ පමණක් නොව නුමුත් මිනිස් අයිතිවාසිකම් ගැන ඉහලින් කථාකරන මේ වර්තමාන යුගයේ පවා, තමන් කැමති දෙවිකෙනෙක් ඇදහීමේ නිදහසට විරුද්ධව සමහරුන් ප්‍රශිද්ධියේම ක්‍රියා කරනු දැකීම සැබවින්ම කනගාටුවට කරුණකි.
යම් හේතුවක් නිසා අසරණ වූ පුද්ගලයෙකු තමන්ගේ ඒ දුක වේදනාව වෙනුවෙන් දෙවියන්ගේ පිහිට සොයා යාම වරදක් සේ හුවා දක්වමින් එවැන්නන් අවමානයට ලක්වන අයුරින් එළිදැක්වෙන, පුවත්පත් වාර්තා, රුපවාහිනී සහ අන්තර්ජාල වාර්තා පවා දිනපතා දැකිය හැකියි. ඒ අතර දෙවියන් ඇදහීම වරදක් යැයි කියා එවැන්නන්ගේ ගේදොර පවා විනාශයට ලක්කල අවස්ථාද අප අතරත් බෙහෙවින් තිබෙයි. .
උපන්දා පටන් කොරව, ඇවිද ගැනීමට නොහැකිව, දසදුක් වින්ද ඒ දුප්පත් මිනිසාගේ වේදනාව දන්නේ ඔහු පමණි. . ඒ අනුව බලනා විට ඔහුට ලැබුන ඒ සුවය තරම් වටිනා දෙයක් තවත් ඔහුට හෝ ඔහුගේ දෙමාපියන්ට මේ ලොව නැති වන්නේ, ඒ අමාරුකම ඔවුන් පමණක් දන්නා හේතුවයි.
ඒ නුමුත් දේව මාලිගාවේ සියලු සැප සම්පත් ඇතුව ජිවත්වන ඒ නායකයන්ට ඒ දුප්පතා ගේ දුක හෝ ඔහු ලැබූ සුවය හෝ වැදගත් නොවූ බව පෙනෙන්නේ, ඒ තුලින් ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකුට හෝ ප්‍රයෝජනයක් හෝ වාසියක් නොලැබීමයි. එබැවින් ඒ ගැන ඔවුන් ගණන් නොගෙන කටයුතු කරනු පැහැදිලිව පෙනෙයි. (නුමුත් ඒ සුවවීම ලැබුවේ ඔවුන්ගේ නෑදෑකු වුයේ නම් ඔවුන් දැක්වූ මේ ප්‍රතිචාරය මෙයට වඩා වෙනස් අකාරයේ එකක් වන්නටත් ඉඩ තිබුණි.)
මේ සියල්ලට හේතුවූ තවත් හේතුවක්ද අපට නොපෙනී ක්‍රියා කරයි. එදා ඒ නායකයන් ඒ ගැන වියවුල් වී ක්‍රියා කිරීමට පටන් ගන්නේ, සාමාන්‍යය මිනිසුන් එසේ දෙවියන්ගේ නාමයෙන් වුවත් හාස්කම් කිරීමට ගියොත්, එය ඔවුන්ගේ රැකියාවට සහ ආදායමට මෙන්ම සමාජයේ ඔවුන්ට ඇති පිළිගැනීමටත් තර්ජනයක් විය හැකි නිසායි. මේ හස්කමේ හේතුවෙන් “පන්දාහකට අදික සෙනගක්” එදා ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීමට පැමිණි බවත් එහි පැහැදිලිව සඳහන් වෙයි. ඒ පසුබිම පෙන්වාදෙන්නේත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් දෙසට මිනිසුන්ගේ අවධානය පමණක් නොව නුමුත් පිළිගැනීමත් යොමුවන ආකාරයයි.
එබැවින් ඔවුන් ජිවිත කාලයටම කොරව වේදනා විඳි ඒ අහිංසකයාගේ ශුභසිද්ධියට වඩා, ඔවුන් තමුන්ගේ අනාගත ශුභසිද්ධිය ආරාක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරණු පෙනෙයි.
බලාපොරොත්තු කඩවී සිටිනා මොහොතක, ඕනෑම කෙනෙක් තම බලාපොරොත්තු සපුරා ගැනීම වෙනුවෙන් දෙවියන් වෙතට නැඹුරුවීම සමාන්‍යය දෙයකි. එවැනි අවස්ථාවන් වලදී තමුන් අදහන ආගමෙන් පිට වෙනත් ආගමික ස්ථානයකට හෝ ගොස් තමන් මුහුණදෙන අමාරුකමෙන් නිදහස්වීමට උත්සාහ දරන්නේද තම අවශ්‍යයතාවයේ ඇති බැරෑරුම් කම ඉදිරියේ වෙනත් පිහිටක් නොමැති වීමයි. එයින් කිසිවෙකුටත් හානියක් හෝ වැරද්දක් නොවන බවත් පැහැදිලිව පෙනෙයි.
දුක්වේදනාවන් වලින් නිදහස් වීමටත්, ජිවිතයට බලපාන අභියෝගයන්ගෙන් ජයගැනීමටත් වෙනත් මඟක් නොමැති සෑම අවස්තාවකදී, ඕනෑම කෙනෙක් තමන්ට යම්කිසි පිහිටක් ලබාගත හැකි මඟක් සොයා යෑම මිනිස් ගතිය වනවා වාගේම, එවැනි අවස්තාවන් වලදී මිනිසුන් තමන්ගේ ඒ දැවෙන උවමනාවන් සපුරා ගැනීම වෙනුවෙන් තමන්ට පිහිට වියහැකි දෙවි කෙනෙකු සොයා යෑම පමණක් නොව නුමුත් තමන් ඉදිරියේ ඇති ඕනෑම දෙයක් කිරීමටත් පෙළෙඹෙයි. උදාහරණයක් ලෙසින්, පොහොසත් මෙන්ම සමහර වැදගත් මිනිසුන් පවා බොහෝවිට ඉන්දියාවේ ඇති දෙවිවරුන් සොයා ගුවනින් පියාසර කරන්නෙත් මෙහිදී ලබාගත නොහැකි ඒ පිහිට එහි ඇති දෙවිවරුන් තුලින් හෝ ලබාගනු පිණිසයි.
මැරෙන්න යන මිනිහා එයින් බේරීමට පිදුරු ගහේ උණත් එල්ලෙන්නට සුදානම් යන ඒ කියමන අපි හොඳින් හඳුනයි. අපගේ මුතුන් මිත්තන් උදාහරණයක් හැටියට එසේ පැවසීමට පුරුදුවී සිටියේත් මේ යථාර්තය පෙන්නා දීමටයි.
මේ උදාහරණය පෙන්වාදෙන්නේ මරණීය අවධානමකට මුහුණ නොදෙන හෝ එවැනි අවධානමක් තම ජිවිතයට නොමැතිව සැපපහසුවෙන් ජිවත්වන පුද්ගලයාට පිදුරු ගහ වැදගත් නොවන නුමුත්; මරණ තර්ජනය ඇති මිනිසාට මරණයෙන් ගැලවීමට එය උපකාරයක් වියහැකි නම්, පිදුරු ගහ උනත් අතහැර දැමීමට ඇති අකමැත්ත පෙන්වාදීමයි. පිදුරු ගහ කුඩා වුණත් තම බලාපොරොත්තුව සපුරාදීමට එයට හැකියි යන ඒ බලාපොරොත්තුව නිසා ඔහු එය දකින්නේ තමාගේ බලාපොරොත්තුව සපුරාගත හැකි මාර්ගය ලෙසින් මිසක් එය සමාජයේ කැමැත්තද නැද්ද කියා හෝ එය සමාජයට වැදගත්ද නැද්ද කියා ඒ අනුව නොවේ.
එදිනෙදා ජීව්තයේ මුහුණ දීමට සිදුවන අභාග්‍යය අවස්ථාවන් ගෙන් නිදහස සොයා ගැනීම වෙනුවෙන් තමන්ට පිහිට ලබාගත හැකි යැයි හැඟෙන දෙවිකෙනෙක් ගෙන් පිහිටක් උපකාරයක් ආශිර්වාදයක් ලබාගැනීමට අහිංසකයෙකු දරණ අවංක උත්සාහය, අප ජිවත්වන මේ උසස් සමාජය වරදක්, පාවාදීමක් සහ අශිෂ්ඨ ක්‍රියාවක් ලෙසින් උපුටා දැක්වීමට පුරුදුවී සිටියත්, එහි ඇති අභාග්‍යය වන්නේ අහිංසකයන් පිඩාවට ලක්කරණ එවැනි පුද්ගලයන් සමාජයේ නායකයන් ලෙසින් සමාජය විසින්ම පිළිගෙන සිටීමත් දැකීමයි.
මිනිසුන් දෙවියන් සෙවීමට තීරණය කරන්නේ සැදැහැවතුන් වීමට ඇති ආශාවක් හිටිහැටියේම තම සිත තුල පහළ වීම නිසා නොවන බවත් මෙහිදී අප තේරුම් ගතයුතුයි. ප්‍රශ්ණ කරදර අමාරුකම් වලින් නිදහස් වීමට මෙන්ම පිහිට උපකාරය තමා වෙත හෝ තම පවුල වෙත ලබාගැනීමේ හේතුව උඩ මිසක් වෙන හේතුවකට කිසිවෙක් දෙවියන් සොයමින් දස අතේ නොයයි.
එබැවින් එවැනි තත්වයකට පත්වූ අසරණයෙක් තමා මුහුණදෙන අසරණකම හමුවේ කිරීමට වෙනත් දෙයක් නැති තැන, ඒ වෙනුවෙන් පිහිට සොයමින් ඕනෑම ආගමික දේවස්ථානයකට යෑම හෝ ඕනෑම දෙවි කෙනෙකුගෙන් පිහිටක් බලාපොරොත්තු වීමට තීරණය කිරීම වරදක්, පාවාදීමක් හෝ දුෂ්ඨකමක් සේ සැලකිය නොහැකියි. මැරෙන්න යන මිනිහාගේ ජීවිතය ගැන කැක්කුම ඇත්තේ ඒ පුද්ගලයාට සහ පවුලේ උදවියට මිසක් වෙන කාටවත් නොවෙනා බවත් අපි මෙහිදී ඒ ගැන තේරුම්ගත යුතුයි.
අවුරුදු ගණනාවක් ලෙඩවී සිටිය තම ස්වාමිපුරුෂයාගේ සුවය වෙනුවෙන් ක්‍රිස්තියානි දේවස්ථානයකට ගොඩවැදී ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේ ගෙන් සුවය සහ සහනයක් බලාපොරොත්තු වූ අප රටේ සිටින ප්‍රශිද්ධ සංගීත වේදියෙකුගේ බිරිඳට මුහුණ පෑමට සිදුවූ ඒ අවමානය රහසක් නොවන්නේ එය ප්‍රශිද්ධියේම විවේචනයට ලක්කල හේතුවයි. මෙහිදී ඔවුන්ට මුහුණ පෑමට සිදුවූයේද එවැනිම අභාගයක් බවත් විශේෂයෙන් මතක් කල යුතු නොවෙයි. මේ අවසානාවන්ත සිදුවීම ගැනත් කෙටියෙන් හෝ යමක් කීමට මා අදහස් කලේ, “තමුන්ගේ හිතට එකඟව දෙවියන් ඇදහීම හෝ දෙවියන් ගෙන් පිහිට උපකාරය සොයා යෑම “ වරදක් නොවෙනා බවත් ඒ පවුලේ අයටත් පවසා සිටීමටයි. එය මගේ අදහසටත් වඩා දේව වචනයේ ඇති ඉගැන්වීම බවත් ක්‍රියා පොතේ ඇති ඒ වාර්තාවද අපට පැහැදිලි කරයි.
මේ සිදුවීම පවා පෙන්වාදෙන්නේත් ඔවුන් විසින් පිහිට ලබාගැනීමට සොයා ගිය ඒ "දෙවියන්" සහ "දේව-ස්ථානය" ඉහල සමාජය විසින් අනුමත නොකළ එකක් වීමයි.. පිහිට සොයා ගිය දේවස්ථානය “ක්‍රිස්තියානි” එකක් වීමත්, එසේම ඔවුන් පිහිට උපකාරය ඉල්ලා සිටි දෙවියන් “යේසුස් ක්‍රිස්තුස් වහන්සේ” වීමත් ඒ චෝදනාවට බලපෑ එකම හේතුවද වෙයි.
මේ වර්තමානයේ පමණක් නොව නුමුත් අවුරුදු දෙදාහකටත් පෙර එදා පේත්රුස් සහ යොහාන්ට විරුද්ධව එල්ල වූ ඒ අභූත චෝදනාව වුයේද එයයි. පෙත්රුස්ට සහ යෝහාන්ට මෙන්ම ඒ සුවය ලැබූ මිනිසාටත් එදා සිරගෙදර රයක් ගත කර පසුදින නඩු ශාලාවේ පෙනීසිටීමට සිදුවන්නේත් ඔවුන් වරදක් කල නිසා නොව නුමුත් සමහර නායකයන්ට "යේසුස් යන ඒ නාමය" අභියෝගයක් ගෙනදුන් හේතුවයි. මෙහිදී ඒ යුදෙව් ආගමික නායකයන්ට වැදගත් වුයේ දෙවියන්ගේ නාමයෙන් අහිංසකයෙකු ලැබූ සුවය නොව නුමුත් තමුන්ගේ තානාන්තරය රැකගැනීමේ අරමුණ පමණක් බව හොඳින් පෙනෙයි.
තුවාලය ඇති මිනිසාට මිසක් ඒ තුවාලයේ වේදනාව වෙනත් අයෙකුට කිසිවිටෙකත් නොදැනෙන්නේ එය තමාට පමණක් බලපාන හේතුවයි. එබැවින් ඕනෑම පුද්ගලයෙකු තම පුද්ගලික ශුභසිද්ධිය වෙනුවෙන් (ශාරීරික හෝ ආත්මික ශුභ සිද්ධිය) දෙවියන්ගේ පිහිට සෙවීමේදී, ඒ වෙනුවෙන් තමාට පිහිටක් ලබාගත හැකි ඕනෑම තැනක් සොයා යන්නේත්, ඒ වෙනුවෙන් ඇති තම උත්සාහය අත් නොහරින්නේත්, කෙසේ හෝ තමාට අවශ්‍යය ඒ පිහිට හෝ උපකාරය (ආශිර්වාදය) දෙවියන් තුලින් හෝ සොයාගනු පිණිසයි. මේ කාරණය ලෝකයාගේ කැමැත්තට අනුව සිදු නොවන්නේ, තමුන් මුහුණදෙන ප්‍රශ්නයෙන් මිදීමක් සොයා ගැනීම මිසක් අන් කිසිවක් ඔවුන්ට වැදගත් නොවීමද වීමයි.
ක්‍රිස්තියානිකාරයන් මෙන්ම ක්‍රිස්තියානි නොවෙනා මිනිසුන් පවා දෙවියන් සොයන්නෙත්, යාච්ඥා කරගැනීමට දේවස්ථාන වෙත පැමිණෙන්නේත්, එය මිනිස් ස්වභාවයටත් වඩා දෙවියන්වහන්සේද එසේ උන්වහන්සේ වෙතට පැමිණ සුව සහනය ලබාගන්නා මෙන් උන්වහන්සේම කරණ ආරාධනය උඩයි.
"වෙහෙස් වෙන්නාවු බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මාගෙන් ඉගෙන ගන්න, එවිට නුඹලාගේ ආත්මයට සහනය ලැබෙන්නේය." -මතෙව් 11:28
මිනිසාගේ ස්වභාවය දුර්වල එකක් වීමත්, තම ස්වකීය උත්සාහයෙන් මිනිසාට සියල්ල සර්ව සම්පුර්ණ කරගත නොහැකි වීමත්, දෙවියන්ගේ පිහිට සෙවීමටත් දෙවියන් වෙතට නැඹුරුවීමටත් සවභාවයෙන්ම මිනිසුන් උනන්දුවෙයි. ඊට අමතරව ඒ ගැන දේව වචනය පෙන්වාදෙන්නේ, දෙවියන්වහන්සේ මිනිසාගේ මැවුම්කාරයාණන් වීම, ස්වභාවයෙන්ම මිනිසා තුල ආත්මික දෙවි කෙනෙක් කෙරෙහි හැඟීමද උපදවන බවයි.
බොහෝදෙනා නොදැන සිටියත්, දෙවියන්වහන්සේ යන ඒ සත්‍යයතාවය මිනිසාට පෙන්වා දෙන්නේ ඒ යථාර්තයයි. දෙවියන්වහන්සේගේ පිහිට උපකාරය නොමැතිව මොලොව ජීවිතය ජයගැනීම අපහසු බව අපගේම ඇතුලාන්තය අපට හැඟෙන්නටත් සලස්වයි.
දෙවියන්වහන්සේට සම්බන්ධ වී ජීවිතය උන්වහන්සේ සමගින් ජයගන්නා ලෙසට කරණ ඒ ආරාධනාව පමණක් බයිබලය පෙන්වාදෙන එකම ඉගැන්වීමද වෙයි. අපගේ හෘදසාක්ෂිය පවා බොහෝවිට ඉහලින් සිටින ආත්මික බලවතෙක් ගැන අපට හැංගෙන්නටත් දැනගන්නටත් සලස්වන්නේද "දෙවියන්වහන්සේ මිනිසාගේ මැවුම්කාරයාණන්" යන ඒ හේතුව උඩයි.
මෙලොව ජිවත්වන සාමාන්‍යය මිනිසුන් "දෙවියන්" සොයා පැමිණෙන හේතුන් විවිධාකාර ඒවා වුවත් , ඒ ක්‍රියාව අවසානයේදී ඔවුන් ආශිර්වාදයට වඩා ලබාගන්නේ දෙවියන්වහන්සේ යන ඒ සත්‍යය අත්දැකීමෙන් හඳුනා ගැනීමට පැමිණීමයි. දෙවියන් යන ඒ සත්‍යය අත්දැකීමට හැකිවීම බොහෝවිට කැපවීම තෙක්ම ගමන් කරයි.
මේ ක්‍රියාවලියේදී ඒ ගැන අපට නොපෙණෙන එහි අනෙක් පැත්ත වන්නේ; අප මුහුණ දෙන ප්‍රශ්ණ කරදර අමාරුකම් පවා උන්වහන්සේගේ දේවත්වය අපට තේරුම් කරදීමට උන්වහන්සේ යොදාගන්නා ආකාරයයි. මිනිසුන් කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ පරම අභිලාශය මිනිසාට ආශිර්වාද කිරීම පමණක් බව එය කියාපායි.
මිනිසා වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ මේ බැඳීම කෙතරම් ගැඹුරුද නම්, පව්කාර මිනිසා වෙනුවෙන් තම ජීවිතය කුරුසියේ පුජා වීමට තරම් එය ගැඹුරු වූ බව කුරුසියේ මරණය පෙන්වාදෙයි. ඒ අවසානය සදාකාල ජීවනය බවත් ඒ ගැන යොහාන් තුමා අපට උගන්වයි. බයිබලයේ දිගහැරෙන ශුභාරංචි පණිවිඩයේ අරමුණ මෙන්ම එහි ඇතුල් පැත්ත වන්නේද එයයි.
"මක්නිසාද දෙවියන්වහන්සේ තම එකම පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට (සියල්ලන්ට) ප්‍රේම කළසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නාවූ කිසිවෙක් විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය". -යොහාන් -3:16
යේසුස් වහන්සේ ඒ වෙනුවෙන් සියලු දෙනා ආරාධනා කරසිටියි.
"වෙහෙස වෙන්නාවු, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා. මම නුඹලාට සහණය දෙමි. මා සිතින් මෘදුව යටත්ව සිටිනා බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන මාගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහණය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය මගේ බරද සැහැල්ලුය".
"මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුලෙහි පවතින්නේද, මම ඔහු තුලෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරිය.
මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය. මා තුළ පවතියල්ලා, මමත් නුඹලා තුල පවතින්නෙමි.
අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනිවම ඵලදරන්නට බැරුවාක් මෙන්, නුඹලා මා තුලෙහි නොපවතීවූ නම් තනිව ඵලදරන්නට නුඹලාට බැරිය."
ප්‍රශ්ණ කරදර වලට පිහිට උපකාරය දෙවියන් තුලින් සොයනා විටදී අප සොයාගන්නේ සියල්ලට ඉහලින් වැඩවාසය කරණ ඒ සියල්ල පාලනය කල හැකි දෙවියන්වහන්සේගේ කරුණාව, ප්‍රේමය සහ සමාදාණයයි.
(©2021 ~ ධර්මදාස ශුභාරංචි සේවය තුලින් උපුටා ගන්නා ලදී. )